පෘතුගාලයට ජය ගෙනා නුනෝ මෙන්ඩෙස්

මෑත කාලයේ ලොව සිටින විශිෂ්ටතම ලෙෆ්ට් බැක් ක්‍රීඩකයා ලෙස හදුනාගතහැකි පෘතුගාලයේ නුනෝ මෙන්ඩෙස්. 2024-25 තරගවාරය තුළ අති සාර්ථක වූ ක්‍රීඩකයෙක්. නිමාවූ නේෂන්ස් ලීග් අවසන් තරගය ස්පාඤ්ඤය සහ පෘතුගාලය අතර පැවති තරගයකටත් වඩා ස්පාඤ්ඤය සහ නුනෝ මෙන්ඩෙස් අතර පැවති තරගයක් ලෙසින් නම් කළ හැකියි.
නුනෝ මෙන්ඩෙස් ට මෙම තරගය ආරම්භ කිරීමේදී ලැබුණ ප්‍රධාන අභියෝගය නම් 17 හැවිරිදි ලමීන් යමාල් ගේ තර්ජනයට පිළිතුරු සැපයීමයි. මෙවර තරගවාරය පුරා ක්‍රීඩා සමාජ මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ද ලමීන් විශාල තර්ජනයක් වුණා.
නුනෝ එය ඉතාම සාර්ථකව ඉටු කළා. අවස්ථා 2-3 ක හැරෙන්නට සෑම විටෙකම ලමීන් ව තරගයෙන් ඉවත් කිරීමට ඔහු කටයුතු කළා. බොහෝ අවස්ථා වලදී ලමීන් නුනෝ සමගින් ගැටෙන්නට නොගොස් පන්දුව නැවත පසුපසට හුවමාරු කරන ආකාරයත් දකින්නට ලැබුණා.
ආරක්ෂක ප්‍රදේශය එලෙස නුනෝ ගේ අනසකට යටත් වද්දී පෘතුගාල ප්‍රහාරයත් නුනෝ මෙන්ඩෙස් ගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරුණා. තරගය 1-0 ක් ලෙසින් පෘතුගාලය පසුපසට ගොස් සිටියදී 1-1 කිරීමේ ගෝලය ඔහු ලබා ගත්තා.
මීළඟට 2-1 ක් ලෙසින් පෘතුගාලය නැවත පසුපසට ගොස් සිටියදී ප්‍රහාරය දියත් කළේ ද නුනෝ මෙන්ඩෙස් විසින්. ඔහු වේගවත් ආක්‍රමණයක් දියත් කරමින් ලබාදුන් පන්දුව පහසුවෙන්ම ගෝලයක් බවට පරිවර්තනය කිරීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ට හැකියාව ලැබුණා.
තරගය පුරාවට ආරක්ෂක මෙන්ම ප්‍රහාරක අන්ත දෙකම නුනෝ මෙන්ඩෙස් ගේ අණසකට යටත්ව තිබුණා. කොටින්ම පාපන්දු පිටියේ වම් පස නුනෝ මෙන්ඩෙස් දැකීමත් ස්පාඤ්ඤ ක්‍රීඩකයන්ට මාරාන්තික තත්ත්වයක් නිර්මාණය කළා.
දඬුවම් පහර වටයේදී ත් සුපිරි දඬුවම් පහරක් එල්ල කරමින් තරගය පෘතුගාලය වෙත ලබා දීමට 100% ක දායකත්වයක් නුනෝ ගෙන් ලැබුණා. ඔහුට නේෂන්ස් ලීග් අවසන් මහා තරගයේ වීරයා සම්මානය ද ලැබෙන්නේ ඒ හේතුවෙන්.
එපමණක් නොවෙයි 2024-25 පාපන්දු තරගවාරය තුළ නුනො මෙන්ඩෙස් ක්‍රීඩා සමාජ මට්ටමෙන් ද දැඩි ඇගයීමකට ලක් විය යුතු ක්‍රීඩකයෙක්. ඔහු පැරිස් සෙන්ට් ජර්මෙයින් නියෝජනය කරමින් ලොව හොඳම රයිට් වින්ගර් ක්‍රීඩකයන් ව මෙල්ල කළා.
චැම්පියන්ස් ලීග් අවසන් 16 වටයේ දී ලිවර්පූල් ක්‍රීඩක මොහොමඩ් සලා සහ අවසන් පූර්ව වටයේ දී ආසනල් ක්‍රීඩක බුකායෝ සකා යන දෙපළම නුනෝ මෙන්ඩෙස් හමුවේ පසුබැස්සා. මේ දෙදෙනාම ලොව සිටිනා ප්‍රධාන මට්ටමේ රයිට් වින්ග් ක්‍රීඩකයන් දෙපළක්.
එමෙන්ම චැම්පියන්ස් ලීග් අවසන් මහා තරගයේදී අශ්රෆ් හකිමී ත් සමගින් එක්ව නුනෝ මෙන්ඩෙස් ඉන්ටර් මිලාන් ප්‍රහාරය සම්පූර්ණයෙන්ම නවතා දැමුවා. ඔවුන්ට පැරිස් කලාපය ආක්‍රමණය කිරීමටවත් අවස්ථාවක් ලැබුණේ නෑ.
ආරක්ෂක මෙන්ම ප්‍රහාරක අංශයෙන් ද නුනො මෙන්ඩෙස් ඉතාම හොඳ වර්ධනයක් ලබාගෙන සිටිනවා. ඔහු නේෂන්ස් ලීග් අවසන් තරගයේදීත් එය පෙන්නුම් කළා. එමෙන්ම 2024-25 තරගවාරයේ නුනෝ ගේ මීළඟ රයිට් වින්ග් ගොදුර බවට ලමීන් යමාල් පත් වුණා.
මෙවර තරගවාරය නිල වශයෙන් අවසන් වීමට පෙර නුනෝ මෙන්ඩෙස් ඇතුළු පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායමට ක්‍රීඩා සමාජ ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබෙනවා.
එහිදී ද අනෙක් කණ්ඩායම් වලට නුනෝ මෙන්ඩෙස් දැඩි තර්ජනයක් එල්ල කරනු ඇති බව නොඅනුමානයි.

Leave a comment