UEFA කුසලානයට තරුණ ලමීන් සහ පාපන්දු ශූර රොඩාල්ඩෝ කරට කර

යුරෝපා නේෂන්ස් ලීග් පාපන්දු අවසන් මහා තරගය අද ස්පාඤ්ඤ සහ පෘතුගාලය අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා . ක්‍රීඩා ලෝලීන් අදහස් කරන්නේ මෙවර තරගයේ විශේෂිතයක් කීපයක්ම තිබෙන බවයි
පළමුවැන්න නම් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලමීන් යමාල් යන දෙදෙනා එකිනෙකා මුණ ගැසෙන පළමු අවස්ථාව මෙම තරගය වීමයි. රොනාල්ඩෝ වෘත්තීමය පාපන්දු පිටියේ ක්‍රීඩා කිරීම ආරම්භ කරන විට ලමීන් ඉපදී හෝ සිටියේ නැති බව සහ ඔවුන් දෙදෙනාගේ වයස් පරතරයන් පිළිබඳ විශාල වශයෙන් මේ වෙනකොට කතාබහක් නිර්මාණය වී තිබෙනවා
දැනට 40 වන වියෙහි පසුවන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමන්ගේ පාපන්දු දිවියේ අවසන් සමයට ළඟා වී තිබෙනවා. තවමත් 17 හැවිරිදි ලමීන් වෘත්තීමය පාපන්දු ක්‍රීඩාව ආරම්භ කළා පමණයි.
රොනාල්ඩෝ මේ වන විටත් පාපන්දුවෙන් විශාල දස්කම් දැක්වූ වාර්තා බොහොමයක් තැබූ ක්‍රීඩකයෙක්. ලමීන් යමාල් තමන්ගේ වයසට වඩා මුහුකුරා ගිය ක්‍රීඩා රටාවක් පෙන්වන නවක තරුවක්. මෙම දෙදෙනා එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කිරීමට සුවිශේෂී අවධානයක් මේ හේතුවෙන් හිමි වී තිබෙනවා.
යුරෝපීය නේෂන්ස් ලීග් තරගාවලිය ආරම්භ වී පැවති පළමු අදියරම ජය ගැනීමට පෘතුගාලයට හැකියාව ලැබුණා. එමෙන්ම එහි වත්මන් ශූරයින් ස්පාඤ්ඤය වනවා. අද තරගය කුමන කණ්ඩායම ජය ගත්තත් නේෂන්ස් ලීගය දෙවන වරට ජය ගන්නා පළමු කණ්ඩායම වීමට ඔවුන්ට හැකියි.
කණ්ඩායම් දෙකම තරු සහ දක්ෂතා සපිරි ක්‍රීඩකයන්ගෙන් පිරුණ කණ්ඩායම් දෙකක්. පෘතුගාලය සතුව වර්තමානයේ ලොව ප්‍රභල ක්‍රීඩා සමාජ වල ඉහළම තලයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් රැසක් ම සිටිනවා.
2025 චැම්පියන්ස් ලීග් ශූරතාවය දිනූ පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායමේ අවසන් තරගය ආරම්භ කළ පෘතුගාල ක්‍රීඩකයන් ගණන 3 ක්, ඒ ජාඕ නෙවෙස්, විටීන්යා සහ නුනෝ මෙන්ඩෙස් යන අයයි.
අද තරගයේ දී ලමීන් යමාල් ව නැවැත්වීමේ ප්‍රධාන වගකීම ද නුනො මෙන්ඩෙස් සතු වනවා. ඔවුන් දෙදෙනා එකිනෙක මුණ ගැසීම සෑහෙන තරගයක් බලන්න පුළුවන් සිදුවීමක් බවට පත් වේවි. දෙදෙනාම විශිෂ්ට දස්කම් දක්වන නිසා එය තවත් විශේෂ වනවා.
බෘනෝ ෆර්නැන්ඩෙස්, බර්නාඩෝ සිල්වා, විටීන්යා, රුබෙන් නෙවෙස් වැනි සුපිරි මැදපෙල තරු රැසක්ම පෘතුගාලය සතු වනවා. මේ සියලුමදෙනා යුරෝපයේ ඉහළම පාපන්දු ක්‍රීඩා සමාජ වල ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩකයන්.
ජර්මන් තරගය ක්‍රීඩා නොකළ හෝ බංකුවේ සිට පැමිණි ක්‍රීඩකයන් අතරට ගොන්සාලෝ රාමෝස්, රෆායෙල් ලියාඕ, ජාඕ පලීන්යා, දියේගෝ ජෝටා, දියේගෝ ඩැලොට්, ජාඕ ෆීලික්ස් වැනි අයද ඇතුළත්.
මේ නිසාවෙන්ම ක්‍රීඩා කරන 11 ට අමතරව පෘතුගාලයේ ක්‍රීඩක බංකුව ද ඉතාම ප්‍රභල තත්ත්වයක පවතිනවා. පෘතුගාලයට ඕනෑම මොහොතක තරගය සහ ක්‍රීඩා රටාව වෙනස් කළ හැකි කණ්ඩායමක් සිටීම බොහෝ වාසිදායකයි.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛව ඔවුන් වර්තමානයේ යුරෝපීය ශූරයන් සහ නේෂන්ස් ලීග් ශූරයන් ට ලබාදෙන අභියෝගය නැරඹීම පාපන්දු ප්‍රේක්ෂයෙක් ට හොඳ අත්දැකීමක් වේව්.
ස්පාඤ්ඤය මැදෙපෙළ පිළිබඳව වැඩි විශ්වාසයක් තබා ක්‍රීඩා කරන කණ්ඩායමක්. ඔවුන් ප්‍රංශය සමගින් ක්‍රීඩා කළ තරගයේදී ත් එය පැහැදිලිව කැපී පෙනුනා. බාසිලෝනා ක්‍රීඩක පෙද්රි මූලිකත්වය ගෙන මෙම මැදපෙළ ආධිපත්‍යය ඔවුන් මෙහෙයවනවා.
රයිට් වින්ගර් වශයෙන් ලමීන් යමාල් සහ ලෙෆ්ට් වින්ගර් වශයෙන් නිකෝ විලියම්ස් ක්‍රීඩා කරන ආකාරය පසුගිය යුරෝ කුසලානයේදී මෙන්ම නේෂන්ස් ලීග් තරගාවලියේදී ත් විශේෂ වුණා. මේ හේතුවෙන් පෘතුගාලයට ඇති හොඳම තර්ජනය ඔවුන් විය හැකියි.
නමුත් මිකෙල් මෙරීනෝ, පෙද්රි සහ මාටින් සුබිමෙන්ඩි ගේ පන්දු කලමණාකරණය පසුගිය තරගයේ ප්‍රංශයට තිබූ ලොකුම බලපෑම වුණා. ප්‍රංශය තරගයට කෙලින්ම අවතීර්ණ වුණේ ඔවුන් නැවත ආදේශ කිරීමෙන් අනතුරුවයි.
ආරක්ෂක ක්‍රීඩකයන් අතරේ ඇලැහැන්ද්‍රෝ බල්ඩේ නොමැති වීම ස්පාඤ්ඤය දෙසින් ඇති ප්‍රධානතම අඩුව වනවා. පසුගිය තරගයේදී ත් එය දකින්නට ලැබුණා. එය පෘතුගාලය දෙසින් වාසියක් එක් කරනවා.
එමෙන්ම ස්පාඤ්ඤය ප්‍රහාරක ක්‍රීඩක‍යෙක් රහිතව අවසන් පූර්ව තරගයේදී ක්‍රීඩා කළා. ඔවුන් අද පැවැත්වෙන අවසන් තරගයත් ප්‍රහාරක ක්‍රීඩකයෙක් රහිතව ක්‍රීඩා කළත් එහි පුදුම වන්නට දෙයක් නෑ.

පසුගිය තරගයේ දී ප්‍රහාරක ක්‍රීඩක ස්ථානය මිකෙල් ඔයාර්සබාල් සහ ඩැනි ඔල්මෝ යන දෙදෙනා ක්‍රීඩා කළා. ඇල්වරෝ මොරාටා බොහෝ දුරට ක්‍රීඩා කිරීමේ ඉඩක් නොමැති නිසා අදත් ස්පාඤ්ඤය ප්‍රධාන ප්‍රහාරක ක්‍රීඩකයෙක් රහිතව තරගය ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.
දැල් රකින්නන් අතර පෘතුගාලයේ දියේගෝ කොස්තා සහ ස්පාඤ්ඤයේ උනායි සිමොන් යන දෙදෙනාම සමාන මට්ටමින් දක්ෂතා දක්වනවා. නමුත් තරගය දඬුවම් පහර වටයක් දක්වා ගමන් කළහොත් වඩා දඬුවම් පහර වැලැක්වීමේ හැකියාව දියේගෝ කොස්තා සතුයි.
අවසන් තරගයක් වීමත්, පෘතුගාලය සතු අත්දැකීම් බහුල බවත් නිසා යුරෝපීය ශූරයන්ට දැඩි අභියෝගයක් ලබාදීමේ හැකියාව ඔවුන් ට තිබෙනවා. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යුරෝපීය පාපන්දු කුසලාන යටතේ ක්‍රීඩා කරන අවසන් තරගයත් මෙය වීමේ විශාල ඉඩකඩක් තිබෙනවා.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රියේ, එනම් හෙට අලුයම 12.30 ට ආරම්භ වීමට නියමිතයි

Leave a comment