තුන්කොන් එක්දින තරගාවලියේ ප්‍රතිවාදීන්

ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සහභාගී වන තුන්කොන් එක්දින කාන්තා ක්‍රිකට් තරගාවලිය මේ මස 27 වැනිදා සිට මැයි මස 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.  

තරග කාලසටහන 

  • අප්‍රේල් 27 – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
  • අප්‍රේල් 29 – ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර
  • මැයි 01 – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර
  • මැයි 04 – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
  • මැයි 07 – දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර
  • මැයි 09 – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව
  • මැයි 11 – අවසන් මහා තරගය

මෙම සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී දිවා තරග ලෙසින් පැවැත්වීමට නියමිතයි.  

ඉන්දියාව 

ඉන්දීය ක්‍රීඩිකාවෝ මෙම සංචාරය හා එක් වෙන්නේ පසුගිය ජනවාරි මාසයේ දී අයර්ලන්තයේ කළ තරග සංචාරයෙන් අනතුරුවයි. එම සංචාරය 3-0කින් පහසුවෙන් ම ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වෙනවා.  

මෙම තරගාවලිය හා එක් වෙන ඉන්දීය කණ්ඩායමේ නායකත්වය නැවත සුපුරුදු ලෙසින් Harmanpreet Kaur වෙත ම හිමි ව තිබෙනවා. ඇය නිමා වූ අයර්ලන්ත තරග සංචාරය සඳහා සහභාගී නොවූ අතර මේ දක්වා ඉන්දීය කණ්ඩායම අවස්ථා 28ක දී මෙහෙයවා තිබෙනවා.   

එක්දින ජාත්‍යන්තර තරග 141කට සහභාගී වී ඇති Kaur ශතක 6ක් සහ අර්ධ ශතක 19ක් සමඟින් ලකුණු 3803ක් සහ කඩුලු 31ක් ලබා ඇති ක්‍රීඩිකාවක්. මෙම තරග අතුරින් ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 16කට එක් ව ඇති ඇය අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 300ක් ලබා තිබෙනවා. 

කණ්ඩායමේ සිටින වඩාත් ම සටන්කාමී පිතිකාරිනිය වන්නේ Smriti Mandhana. ඇය මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 97කට සහභාගී වෙමින් ශතක 10ක් සහ අර්ධ ශතක 30ක් සමඟින් ලකුණු 4209ක් ලබා සිටින ක්‍රීඩිකාවක්. එම ලකුණු අතර ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 13ක දී ලබා ගත් ලකුණු 437ක් ද ඒ අතර තිබෙනවා.  

එමෙන් ම තවමත් එක්දින ජාත්‍යන්තර තරග 6ක දී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 444ක් ලබා සිටින Pratika Rawal කණ්ඩායමේ ආධුනික ක්‍රීඩිකාවන් අතර ඉදිරියෙන් ම සිටින ක්‍රීඩිකාවක්. ඇය ගේ මෙම ඉනිම්වල සාමාන්‍ය 74.00ක් ලෙසින් රඳවා ගැනීමට ද ඇය සමත් ව සිටිනවා.  

කණ්ඩායමේ දක්ෂතා දක්වන තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර ඉදිරියෙන් ම පසු වෙන්නේ එක්දින ජාත්‍යන්තර තරග 101ක දී ශතකයක් සහ අර්ධ ශතක 12ක් සමඟින් ලකුණු 2154ක් සහ කඩුලු 130ක් ලබා සිටින Deepti Sharma. 2016 වසරේ Ranchi හි දී ලකුණු 20කට දවා ගන්නා ලද කඩුලු 6 ඇයගේ පන්දු යැවීමේ ඉනිම් අතර ඉහළින් ම සටහන් ව ඇති දක්ෂතාවයි.  

ඉන්දීය කණ්ඩායම හා එක් ව සිටින Jemimah Rodrigues, තරග 42ක දී ශතකයක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 1093ක් ලබා ගනිමින් කණ්ඩායමේ තවත් විශ්වසනීය පිතිකාරිනියක් වී සිටිනවා.  

ඔවුන්ට අමතර ව 21 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන Kashvee Gautam, 20 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන Sree Charani සහ 20 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන Shuchi Upadhyay ද ආධුනික ක්‍රීඩිකාවන් ලෙසින් ඉන්දීය කණ්ඩායම හා එක් වෙනවා.  

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම 

Harmanpreet Kaur (නායිකාව), Smriti Mandhana, Pratika Rawal, Harleen Deol, Jemimah Rodrigues, Richa Ghosh, Yastika Bhatia, Deepti Sharma, Amanjot Kaur, Kashvee Gautam, Sneh Rana, Arundhati Reddy, Tejal Hasabnis, Sree Charani, Shuchi Upadhyay. 

දකුණු අප්‍රිකාව 

දකුණු අප්‍රිකාව මෙම තරගාවලිය සඳහා එක් වෙන්නේ පසුගිය වසරේ උඳුවප් මාසයේ දී එංගලන්තය සමඟ පැවැති තරගාවලියෙන් අනතුරුවයි. එම තරගාවලිය ඔවුන් අවසන් කරන්නේ 2-1ක පරාජයකට මුහුණ දෙමිනුයි.  

ශ්‍රී ලංකාවට පිවිසෙන මෙම කණ්ඩායමේ නායකත්වය සුපුරුදු ලෙසින් ම 25 හැවිරිදි වියේ පසුවෙන Laura Wolvaardt වෙත හිමි ව තිබෙනවා. ඇය මේ දක්වා අවස්ථා 23ක දී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම මෙහෙයවා ඇති ක්‍රීඩිකාවක්.  

කණ්ඩායමේ දකුණත් ආරම්භක පිතිකාරිනිය වන ඇය මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 101කට මුහුණ දෙමින් ශතක 8ක් සමඟින් ලකුණු 4303ක් ලබා සිටිනවා. මේ තරග අතුරින් ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 8කට එක් ව ඇති ඇය ලබා ඇති ලකුණු සංඛ්‍යාව 503ක්.  

එම ලකුණු අතර, නිමා වූ වසරේ Potchefstroom හි දී පැවැති තරගයේ දී පන්දු 147කට මුහුණ දෙමින් හතරේ පහර 23ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 184ක් ලබා ගන්නවා. එය ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ හොඳම ඉනිම ලෙසිනුයි සටහන් වෙන්නේ. එම ඉනිම කාන්තා එක්දින ලෝක ඉතිහාසයේ පරාජිත ඉනිමක ලැබූ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වෙනවා.   

Laura අවසන් වරට සහභාගී වූ තරග 5 දී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 351ක් ලබා ඇති අතර එහි සාමාන්‍ය 117.0ක ඉහළ අගයක රඳවා ගැනීමට ද සමත් ව තිබෙනවා.  

ඇයට අමතර ව 29 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව් ක්‍රීඩිකා Sune Luus ද කණ්ඩායමේ සිටින ප්‍රබල ක්‍රීඩිකාවක්. ඇය මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 126කට සහභාගී වෙමින් ශතකයක් සමඟින් ලකුණු 2276ක් සහ කඩුලු 115ක් ලබා තිබෙනවා.  

එමෙන් ම කණ්ඩායමේ තවත් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක් ලෙසින් Chloe Tryon ද හැඳින්වෙනවා. ඇය මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 106කට මුහුණ දෙමින් අර්ධ ශතක 11ක් සමඟින් ලකුණු 1871ක් සහ කඩුලු 47ක් ද ලබා තිබෙනවා.  

Nadine de Klerk ද දකුණු අප්‍රිකානු පිලේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක්. ඇය මේ වනවිට එක්දින ජාත්‍යන්තර තරග 41කට සහභාගීවෙමින් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 589ක් සහ කඩුලු 49ක් ලබා ඇති ක්‍රීඩිකාවක්. 

පිතිකාරිනියන් අතර Tazmin Brits ද දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩි බරක් කර දරන ක්‍රීඩිකාවක් ලෙසින් හැඳින්වෙනවා. ඇය මේ දක්වා සහභාගී වූ තරග 30 දී ශතක 2ක් සමඟින් ලකුණු 776ක් ලබා තිබෙනවා. ඒ අතර ශ්‍රී ලංකාවට එරෙහි ව එක් තරගයකට සහභාගී වී ඇති ඇය එම තරගය අවසන් කරන්නේ ශතකයක් තම ගිණුමට එක් කර ගනිමිනුයි.  

දකුණු අප්‍රිකා පන්දු යවන්නියන් අතර දකුණතින් වේග පන්දු යවන Ayabonga Khaka ද කණ්ඩායමේ සිටින වඩාත් අවධානයට ලක් විය යුතු පන්දු යවන්නියක්. ඇය මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 106කට සහභාගී වෙමින් කඩුලු 131ක් ලබා සිටිනවා. 

එමෙන් ම එක්දින ජාත්‍යන්තර තරග 76කට සහභාගී වෙමින් කඩුලු 72ක් ලබා සිටින Masabata Klaas ද කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නියක්.  

ඔවුන්ට අමතර ව දකුණු අප්‍රිකාව වෙනුවෙන් මෙතෙක් එක්දින තරගයක දී කළඑළි නොබැසි 17 හැවිරිදි වියේ පසුවෙන Karabo Meso, 19 හැවිරිදි වියේ පසුවෙන Seshnie Naidu සහ 20 හැවිරිදි වියේ පසුවෙන Miane Smitand ද මෙම කණ්ඩායමට එක්කර තිබෙනවා.  

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 

Laura Wolvaardt (නායිකාව), Anneke Bosch, Tazmin Brits, Nadine de Klerk, Annerie Dercksen, Sinalo Jafta (කඩුලු රකින්නිය), Ayabonga Khaka, Masabata Klaas, Sune Luus, Karabo Meso, Nonkululeko Mlaba, Seshnie Naidu, Nondumiso Shangase, Miane Smitand, Chloe Tryon. 

Leave a comment