අඩුපාඩු හදා ගනිමින් ලෝක කුසලානයට ලොකු දෙයක් කරනවා – සනත් ජයසූරිය !

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට යෑමට ශ්‍රී ලංකාවට නොහැකිවුණු ද, ඉන්දියාවට එරෙහිව කණ්ඩායම දැක්වූ ක්‍රීඩා රටාව ලොව පුරා කතාබහට ලක්වී තිබේ.

කණ්ඩායම අවසන් වශයෙන් පිටියෙන් ඉවත්වුණත්, ඕනෑම කණ්ඩායමක් සමග තරගයක් ලබා දිය හැකි තත්ත්වය දැක්වූ බව විවිධ දේශීය හා විදේශීය විශ්ලේෂණය පෙන්වා ඇත.

තරගයෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය කියා සිටියේ, සුපිරි පන්දු වාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් නොවූ බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ දසුන් ශානකගේ අවසන් මොහොතේ ක්‍රියාකාරීත්වය සහ කුසල් ජනිත්ගේ දැවී යෑමෙන් පසු චරිත් අසලංක පිටියට එවීම පිළිබඳවයි. ඒ සම්බන්ධයෙන් ඔහු පැහැදිලි කළේ, වමත් දකුණත් සුසංයෝගය පවත්වාගෙන යෑමට නායකයා පන්දුවට පහරදීමට පිටියට එවූ බවයි.

තවද, කණ්ඩායම දිවයිනට පැමිණි අවස්ථාවේදී සනත් ජයසූරිය අවධාරණය කළේ, පළමු වටයේ සියලු තරග ජයග්‍රහණය කළත් සුපිරි වටයේදී බංග්ලාදේශය සමග පැවති තරගය ජයගත නොහැකි වූයේ අපේ අවාසනාවක් බවයි. එහෙත් ඉන්දියාවට එරෙහිව දැක්වූ සටන ගෞරවදායක වූ බවත්, සිදු වූ වැරදි පිළිබඳ වගකීම භාර ගනිමින් ඒවා ඉදිරියේදී හදාරා රට වෙනුවෙන් කැපවීමේ තීරණය ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

එසේම පැතුම් නිස්සංක පසුගිය තරග කිහිපයම ආබාධ සහිතව ක්‍රීඩා කළ බවත්, රට වෙනුවෙන් ඔහු දැක්වූ කැපවීම පිළිබඳ ගෞරව දැක්විය යුතු බවත් ජයසූරිය තවදුරටත් ප්‍රකාශ කළේය. සුපිරි පන්දු වාරයේදී පැතුම් පිටියට නොගිය හේතුවත් එම ආබාධය බව ඔහු අවධාරණය කළේය.

ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම රට වෙනුවෙන් වඩා හොඳ දායකත්වයක් ලබා දීමට තීරණය කර ඇති බව සනත් ජයසූරිය අවසන් වශයෙන් පැවසීය.

Leave a comment